UPDATE


සූදානමින් සිටින්න...

2021 - 2023 කාලය සඳහා බැංකු ක්‍ෂේත්‍රයේ සාමුහික ගිවිසුම් 2021/01/01 දින සිට බලපැවැත්වෙන පරිදි සාකච්ඡා කර එකඟ වී, අත්සන් කොට අවසන් කළ යුතු වේ. එහෙත් එම දිනය පසු වී මාස 10 ක් ගතවී ඇතත් කිසිදු රාජ්‍ය බැංකුවකට සාමුහික ගිවිසුම අවසන් කිරීමට නොහැකි වී තිබීම අතිශය කණගාටුදායක තත්ත්වයකි.

පෞද්ගලික බැංකු වන කොමාර්ශල් බැංකුව (Commercial Bank) සහ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව (SCB) නව සාමුහික ගිවිසුම් අත්සන් කර අවසන් කර ඇති අතර තවත් බැංකු කීපයක කටයුතු අවසන් අදියරේ පවතී.

ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව හා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු වලට අදාළ සාමූහික ගිවිසුම් යෝජනා පසු ගිය වසර අගදී බැංකු වෙත ලබාදුන් අතර මාස කීපයකට පසු සාකච්ඡා කර එකඟතාවයකට පැමිණිමට හැකි විය. ඉන් පසුව එම බැංකුවල අධ්‍යක්ෂ මණ්ඩල විසින් එම එකඟතාවයන් නිර්දේශ කර, අනුමැතිය පිණිස මුදල් අමාත්‍යාංශය වෙත යොමු කර මාසයකට අධික කාලයක් ගතවී තිබුණද මෙතෙක් අදාළ අනුමැතිය ලබාදීම මුදල් අමාත්‍යාංශය විසින් සිදුකර නොමැත.

ඉහත රාජ්‍ය බැංකුවල සාමුහික ගිවිසුම් අවසන් නොකිරීම හේතුවෙන් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, HDFC බැංකුව හා ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව යන රාජ්‍ය බැංකුවල සාමුහික ගිවිසුම් අවසන් කිරීමට නොහැකි වී ඇත. ඒ අනුව සියලුම රාජ්‍ය බැංකුවල සමුහික ගිවිසුම් යාවත්කාලීන කිරීම ඇණ හිට ඇති අතර එය රාජ්‍ය බැංකුවල පැවැත්ම කෙරෙහි බරපතල අනතුරුදායක වට පිටාවක් ජනිත කර තිබේ.

මෙවර සාමුහික ගිවිසුම් සාකච්ඡා ආරම්භ වන්නේ රට තුළ දරුණු සෞඛ්‍යමය ගැටලුවක් ඇති වී ඇති වට පිටාවකය. ඒ අනුව සාමුහික ගිවිසුම් සාකච්ඡා වලදී රටේ තත්ත්වය, ආර්ථිකයේ හැසිරීම් හා ගෝලීය වසංගත තත්ත්වය ආදී සියලු තත්ත්වයන් සලකා බලමින් සංගමය අපේක්‍ෂා කළ මට්ටම් කරා අදාළ යෝජනා නොපැමිණියද අපගේ අවසන් එකගතාවයන් ලබා දුන්නේ වගකිව යුතු සංගමයක් වශයෙන් සියලු තත්ත්වයන් සලකා බලමිනි.

එහෙත් සංගමයේ මෙම නම්‍යශීලි පිළිවෙත බරපතල ලෙසින් හෑල්ලු කිරීම අතිශය කණගාටුදායකය.

පසුගිය වසර 1 1/2 ක අධික කාලයක් මුළුල්ලේ දරුණු වසංගතයකට මුහුණ දෙමින් බැංකු ක්‍ෂේත්‍රයේ අඛණ්ඩ සේවාව ලබාදීම වෙනුවෙන් කටයුතු කිරීම් නොසලකා හැර තිබේ. පන්දහසකට ආසන්න බැංකු සේවක ප්‍රජාවක් රෝගයට ගොදුරු වූ අතර, ජීවිත හානි කීපයක්ද වාර්තා වී තිබේ. බැංකු සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් කළ අතර, දැඩි සංචරණ සීමා, නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම ආදී අවස්ථාවල පවා ශාඛා විවෘත කරමින් කරනු ලැබු මෙහෙය අවතක්සේරු කිරීම කණගාටුදායක තත්ත්වයකි.

අත්‍යාවශ්‍ය සේවා වලට හා රාජ්‍ය අංශයට එන්නත්කරණයේදී ප්‍රමුඛතාවය ලබාදුන්නද බැංකු සේවකයින්ට මේ වනතුරු එවැනි පිළිගැනීමක් ලබාදුන්නේද නැත. රටේ ආර්ථිකය යළි නගා සිටුවීමට ණය සහන හා දැනට විවිධ කටයුතු ක්‍රියාත්මක කිරීම ප්‍රවාහන, ආහාර පාන, සෞඛ්‍ය ගැටලු ඇතුලූ දුෂ්කර තත්ත්වයන්ට මුහුණ දෙමින් දිවා රෑ නොබලා කටයුතු කළ බැංකු සේවකයින්ගේ අයිතිවාසිකම් වලට මේ ආකාරයෙන් වංගු දැමීමකට එකඟ විය නොහැක.

එමෙන්ම බොහෝ රාජ්‍ය ආයතනවල සාමුහික ගිවිසුම් අවසන් කර ඇති වටපිටාවක රාජ්‍ය බැංකුවල වීම අයිතිය බැහැර කිරීම යුක්ති සහගත නොවේ. සෑම වසරකම කෝටි ප්‍රකෝටි ගණනකින් මහා භාණ්ඩාගරයෙන් යැපෙන රාජ්‍ය ආයත වලට ආණ්ඩුව ලබාදෙන පිළි ගැනීම රාජ්‍ය බැංකුවලට ලබා නොදීම බරපතල අසාධාරණයකි.

2021/09/23 වැනි දින පැවැති සංගමයේ විධායක සභාවේදී සාමුහික ගිවිසුම් අනුමත කිරීම හා අත්සන් කර අවසන් කිරීම තවදුරටත් ප්‍රමාද කරන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්ට අනුගත විය යුතු බවට ඒකමතිකව අනුමත කරන ලදී. බොහෝ ඉවසීමෙන් කටයුතු කළද අවසානයක් දැක ගත නොහැකි වටපිටාවක සංගමය 2021/10/07 දිනැතිව 2010/10/13 වන දින සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්ට අනුගත වීමට තීරණය කර ඒ බව සියලුම රාජ්‍ය බැංකු පාලකයින් වෙත ලිඛිතව දන්වා යවන ලදී.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව සියලු විස්තර ඉදිරියේදී යොමු කරවනු ලබන අතර, ඒ සඳහා සුදානමින්

සිටින ලෙස දැඩි සහෝදරාත්මකව ඉල්ලා සිටිනු ලැබේ.

රාජ්‍ය බැංකු පාලනාධිකාරීන් වෙත...

බැංකු සේවකයින්ගේ සාමුහික ගිවිසුම් තව දුරටත් ප්‍රමාදවීම හරහා ඔවුන් බරපතල අපහසුතාවයන්ට පත්වීම අවබෝධ කරගත යුතුවේ. ඒ අනුව දැනටමත් දැනුම් දී ඇති පරිදි සාමුහික ගිවිසුම් අත්සන් කර ක්‍රියාත්මක කරන තුරු සේවක ණය අය කිරීම කඩිනමින් තාවකාලිකව නතර කළ යුතු වේ. එසේම සාමුහික ගිවිසුම් අත්සන් කිරීම ප්‍රමාදවීම තුළ රාජ්‍ය බැංකු පද්ධතියේ සුමට ක්‍රියාකාරීත්වයට සිදුවිය හැකි බලපෑම අදාළ වගකිව යුතු පාර්ශවය වෙත අවධාරණය කළ යුතුවේ.

බැංකු පද්ධතිය ශක්තිමත් කරමු...

රාජ්‍ය බැංකු සාමුහික ගිවිසුම් අවසන් කරනු...


@ Ceylon Bank Employees Union.

Solution by TekGeeks