UPDATE


ප්‍රගති බැංකු සේවක සංගමයේ මහජන බැංකු නායකත්වය ලංකා බැංකු සේවක සංගමය සමඟ ඒකාබද්ධ වේ.

සියලු සේවක මණ්ඩලයට පොදුවේ බලපාන අයිතිවාසිකම් දිනාගැනීම ඉදිරියේ බෙදීම් , ගැටීම් පසෙකලා , පොදු එකඟතාවක කටයුතු කිරීමට ප්‍රගති බැංකු සේවක සංගමයේ මහජන බැංකු ශාඛාවේ නායකත්වය ඇතුළු සාමාජිකත්වය ලංකා බැංකු සේවක සංගමය සමඟ ඒකාබද්ධ වේ.

ප්‍රගති බැංකු සේවක සංගමයේ මව් සංගමයේ භාණ්ඩාගාරික සහ මහජන බැංකු ශාඛාවේ ලේකම් දීර්ඝ කාලීන වෘත්තීය සමිති අත්දැකීම් සහිත එල්.කේ.ඩබ්ලිව්. සූරියබංඩාර සහෝදරයා , ප්‍රගති බැංකු සේවක සංගමයේ මහජන බැංකු ශාඛාවේ උප සභාපති එම්.එස්.එෆ්. අමාන් සහෝදරයා , ප්‍රගති බැංකු සේවක සංගමයේ නිලධාරි මණ්ඩලය හා විධායක සභාව නියෝජනය කරන සහෝදරවරුන් විශාල පිරිසක් ලංකා බැංකු සේවක සංගමය සමඟ එක්වීම නිල වශයෙන් සාමාජිකත්වය වෙත සන්නිවේදනය කිරීම අද දින සිදුකරන ලදි.

එසේම ලංකා බැංකු සේවක සංගමය හා ප්‍රගති බැංකු සේවක සංගමයේ එම පාර්ශවය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම හුවමාරු කිරීමද සිදුකරන ලදි. මහජන බැංකුවේ 2019.12.15 විභාගය පදනම් කරගත් උසස්වීම් අර්බුදය කඩිනමින් නිමාකිරීම , සාමුහික ගිවිසුම් ක්‍රමය ආරක්ෂා කරමින් සේවක මණ්ඩලයට ජයග්‍රහණයන් දිනාදීම, අසාධාරණ බදු ප්‍රතිපත්තිය පරාජය කිරීම , උසස්වීම් ගැටලු නිරාකරණය කිරීම , විශ්‍රාම වැටුප් ක්‍රමවේදයන්හි ප්‍රතිලාභ වැඩිකිරීම සහ බැංකුවේ යහපත් අනාගතය ඇතුළු පොදු කරුණු රැසක් පිළිබඳව අවධානය යොමු කර ඒ පිළිබඳව විවෘතව සාකච්ඡා කර , පොදු වැඩපිළිවෙළක් තුල සාමුහිකව කටයුතු කිරීමට මෙම අවබෝධය තුල එකඟ වී ඇත.

මේ අවස්ථාවට පෙර සඳහන් කරන ලද සහෝදර සහෝදරියන්ට අමතරව, ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක සහෝදරයා, ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක සහෝදරයා ඇතුළු මව් සංගම් නිළධාරී මණ්ඩල සාමාජිකයන්, මහජන බැංකුව ශාඛා සංගමයේ නිළධාරීමණ්ඩල , විධායක සභික , මධ්‍යම කාරක සභික ඇතුළු නිල මණ්ඩල සහෝදර සහෝදරියන්, ලංකා බැංකුව , ජාතික ඉතිරිකිරීමේ බැංකුව , ප්‍රාදේශීය සංවර්ධන බැංකුව , කොමර්ෂල් බැංකුව , හැටන් නැෂනල් බැංකුව ආදී වූ ශාඛා සංගම් වල නිළධාරී මණ්ඩල සහෝදරයින් සහභාගී වූහ.

සාමාජිකත්වයේ යහපත උදෙසා වන පොදු අරමුණක් වෙනුවෙන් ලංකා බැංකු සේවක සංගමය සෙවණේ එක්සත්ව , ශක්තිමත්ව පෙරට යාමට එක්වූ සියලු සහෝදරත්වයට ආචාරය පල කරමු.

උපුටා ගැනීම https://www.facebook.com/share/p/1Q981Gd1hZ/


@ Ceylon Bank Employees Union.

Solution by TekGeeks